කාර් එකක් ගන්න හිතුවා මිත්‍රවරුනි……
දැනට අපේ යාම් ඊම් සඳහා භාවිතා කරන මෝටර් රථය අප මිලදී ගත්තේ වසර 2013 අග භාගයේදීය….. එහෙට මෙහෙට සහ බැංකුවලට ණය වී අපේ ඇති මුදලත් එක්කාසු කොට ලක්ෂ දාහතර හමාරකුත් ටැක්ස් ගෙවා රුපියල් මිලියන හතරකට එය මිලදී ගත්තේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවටත් පින් සිද්ධ වන්නට hybrid car වල tax අඩුම කාලයේදීය. …
පහුගිය අවුරුදු 13ට රුපියල් 102න් පටන්ගෙන ලීටරය රුපියල් 450ටත් වඩා වැඩි මුදලට පෙට්‍රල් ගසාගෙන ගිය දුර ප්‍රමාණය කිලෝ මීටර් දෙලක්ෂ හතලිස් දාහකට මදකට අඩුය….
පොළොන්නරුව, පේරාදෙනිය, මහනුවර, කොළඹ ජාතික රෝහල, කළුතර, ජපුර, කෑගල්ල, කල්මුණේ, බදුල්ල
යනාදී වශයෙන් ලංකාවේ පළාත් හයක ඉස්පිරිතාල රස්සාව උදෙසාම යන්නට එන්නට ගිය දුර අහක් කළ විට අපගේ පෞද්ගලික පරිහරණයට මේ රථයෙන් ගිය දුර අතිශයින් කෙටිමය…..
බොහොමයක් මගේ සහචර විශේෂඥ වෛද්‍ය සගයන් වියදම් කරන්නට පඩිය මදි නිසාවෙන්ද, යන එන ගමනේ driver මහන්සිය කාරණාවෙන්ද, බදුල්ලට යන්නට එන්නට සැප බස් ඇති නිසාවෙන්ද සහ එකී නොකී මෙකී කාරණා කරණ කොටගෙන බස් සරණ යද්දි කාර් එකක බදුලු බඩ ගාන්නටම කාරණා ගණනාවක් අපිට ඇත…..
යකෝ, අවුරුදු දා හතරක් පහළොවක් උපාධි පශ්චාත් උපාධි කර මේ රටේ යන්නට හැකි උපරිම තැනට ගොස් පැය හයක ගමනක් යනකොට චූ බරක් හැදුනහම ඒක තද කරගෙන බස් එක නවත්තන කම් ඉන්න ඕනෙද අප……?
සති දෙකකට වරක් පොඩි එවුන් බලන්නට ගෙදර යනකොට පාරේ විකුණන්න ඇති ගඩා ගෙඩි එකතු කරගෙන ගොස් උන්ගේ ආදරේ විඳින එක මොහොතත් මහ සතුටක් අපට…..
ඇතිලිවැව මීකිරි හට්ටි දහයක් පහළොවක් වටේ උන් එක්කලා බෙදාගෙන කන එක තවත් එක රසයක්මය……
කොරෝනා කාලේදී බදුල්ලෙන් යන ගමන් පුරා මලු පුරෝගෙන බෙදුව එළවලු සතුට ජීවිතේ මියෙන තුරු නොමියෙනා මතකයක්. …
කිලෝමීටර පන්දාහකට වතාවක් සේවා නඩත්තුත් කරගෙන, කිලෝමීටර 40,000කට වතාවක් ටයරුත් දමාගෙන, ආර්ථික අර්බුද කාලයේ රුපියල් ලක්ෂ හතකට හයිබ්‍රිඩ් බැටරිත් දමාගෙන, driver වැඩෙත් තම අතින් කරගෙන, අපේ පෙට්‍රල් අපිම පුච්චාගෙන කළ රාජ්‍ය සේවයේ සුන්දර මතක තවත් දිගු කළ යුතු නොවේමද….?
permit සංස්කෘතිය අවසාන කර අපිටම කෙලවූ කලෙක ප්‍රවාහනයට හරි හමන් කිසිදු දීමනාවකින් තොරව අනිවාර්ය වාර්ෂික ස්ථාන මාරු තිතට අනුගමනය කරමින් රාජ්‍ය සේවය සලසන විධායක ශ්‍රේණියේ ලොකුම ලොකු පොරක් වීම ගැන මෝඩ ආඩම්බරය හැමදාට තිබිය යුතුමය……
තිතට වෙලාවට සර්විස් කලත් දෙන්නට ඕනෑ ගරු සරු සියල්ලම දුන්නත් වයසෙන් නාකි වෙනකොට මේ මෝටර් රථයේ සමහර කෙඳිරිලි නවතන එක අපහසු කාරණයක්…..
ඒ වුණත් එන්ජින් ධාරිතාවය 1800cc, මොහොතකින් පොල් ගහක නගින්නට උනත් ජවයක් ඇති, විටෙක රළු පොළවක යට වැදුණත් දඩ බඩං, මහ පොළොව සිපගෙන ලතාවට වංගු අරගෙන, කිලෝමීටර් 300- 400කට පසුවත් ඇඟට නොදැනෙන ලෙස ගෙදරට ළඟාවෙන “මගේ” යයි කියාගත් මේ යකඩ ගොඩ අවුරුදු දහ තුනකට පසුත් මට මහත් සැපයක්…….
“ මැණික් ඔය කාර් එක පැද්ද දැන් ඇති, ඔයාටම තේරෙනවනෙ දැන් ඕක ටික ටික ලෙඩ දෙනවා. ඕකට ලෝබ නොවී ඕක විකුණලා දාලා කීයක් හරි ණයත් වෙලා අතේන් ගානකුත් දාලා අලුත් වාහනයක් ගන්න….. ඔයා ඔය යන විදිහේ හැටියට ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්නට ඕන….. ඔයා දන්නවනේ මම නම් ඔය චීන වාහන වලට යටි හිතකවත් කැමැත්තක් නැහැ….. ඔයා වාහනයක් ගත්තොත් කොහොම වුණත් තා අවුරුදු දහයක් පහළොවක් පදිනවා…. ඒ නිසා ජපන් වාහනයක්ම ගමු”
සෙනෙහස මුහු වෙච්ච, පාරෙ අපෙ ජීවිතය ගැන උතුරන්න විස්සෝප වන ඔය වචන වෙන කාගෙවත් නොව “ කළු උනත් සුදු” මගේ යැයි කියා ගත් මගේ මැණිකගේමය…….
ඔව් මිත්‍රවරුනි, අවුරුදු දෙකකටත් එහා අතේ තියෙන පර්මිට් කොලේ රෝල් කරලා අහවල් එකේ නොගහගෙනම පොඩ්ඩක් හෙව්වා වාහන වල මිල ගණන් ඇගේ කංකරච්චලයටම……
බදුලු යන්නට නම් හපුතලේ කඳු බඩ ගාන්නට ඕනෙමය…. පැය හයකට මෙහා එන්නට ඕනෙ නම් හරි හමන් විදිහකට වාහනයක් දෙකක් over take කරගන්න ඕනමය…. කන්ටේනර් තෙල් බවුසර් පස්සේ බඩ නොගා එන්නට ඕනෙමය….. ඔන්න ඔය වැඩේට engine capacity එක ටිකක් ලොකුවට තිබුනොත් හොඳය……
නෝනා කිව්ව ලෙසටම ආරක්ෂාකාරි වාහනයක් වෙන්න ඕනෙමය….. ටිකක් හොයලා බැලුවහම අඩුම ඕනේ මිලියන 20ක් 30ක්….. ආණ්ඩුවෙ ටැක්ස් එකම විතරක් අපේ අවුරුදු පහ හයක පඩියක්……. ඔව් මිත්‍රවරුනි , Basically කිව්වම පෙට්‍රල් අතින් ගහගෙන ආණ්ඩුවට වැඩ කරන්නම ගන්න නම් වාහනයක්…..
රටේ මේ කොනේ සිට එහා කොනේ කල්මුනේ ගිය, නුවරඑළි ගිරි ශිඛර තරණය කරපු, හිස හැරුණු අතකින් නොයෙක් මාවත්වලින් තාමත් බදුලු යන, තිසරණී මගේ දුවට සහ අනුත්තර පුතුට සති දෙහෙකට වතාවක් උණත් ඉන්නා එකම තාත්තා අප…….
කළු උනත් සුදු මගේ මැණිකට මියෙන තුරු අත අල්ලන් ඉන්නට සිටින එකම මැණික වෙමි මම….
කරදඬු උස් මහත් කොට ජීවිතයේ ඕනෑම පිම්මක් සැකක් නොමැතිව පනින්නට සවිය දුන් අම්මාට මියෙන තුරු වාරු වෙන්නට ඇති එකම පොඩි පුතු අපිමමය……
බදුල්ලේ මිලියනයක මනුස්සයන්ගේ අතකට කකුලකට කොන්දකට වගකියන්නට ඉන්නා විකලාංග වෙදුන් දෙන්නාගෙන් එකෙක් අප …..